April 14, 2011

හඳ සහ නිව්යෝර්ක් නුවර

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙලා, අවුරුදු චාරිත්‍ර ඉ‍ටු කරන අතරතුරේ මටත් හරි පුදුම දේවල් තමයි හිතුනෙ. එයින් එක දෙයක් බ්ලොග් අවකාශයත් එක්ක බෙදාගන්න මං හිතුවා. මට එක පාරටම මතක් උනේ පිටරට ඉන්න අපේ උදවිය කොහොම මේක සමරනව ඇතිද කියල. සමහරුන්ට නම් මෙහෙම දෙයක් තිබුනද කියල ගාණක්වත් නැතුව ඇති. ඒත් අපේකම ඇඟේ තියෙන සයුරින් එහා ඉන්න අපේ අයට නම් අවුරුද්ද තාම අමතක වෙලා නැතුව ඇති කියල හිතුනා. හැබැයි ඉතින් අපේ රටේ වගේ වෙන රටවල මේ කාලෙට නිවාඩු ලැබෙන්නෙ නැති නිසා සමහරවිට ඒ උදවියට අවුරුදු සිරිත් ඉ‍ටු කරන්න නොලැබෙන්නත් ඇති.

ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් එකම ප්‍රදේශයේ ජීවත් වෙන ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය වගේ රටවල්වල ඉන්න අයට නම් ළඟම එන සති අන්තෙකවත් එකතු වෙලා අවුරුදු සමරලා සතු‍ටු වෙන්න පුලුවන් කියල කියමුකො. ඒත් එහෙම ඉන්න නොලැබෙන අපේ අය කී දාහක් නම් ඇත්ද කියල හිතුනා. කොයි දේශ දීපංකරේ හිටියත් ඉතින් අවුරුද්දට හරි ගමේ එන්න කාටත් ආසයි නේ. මොන පරමාර්ථයක් වෙනුවෙන් විදේශගත වෙලා හිටියත් ඒ අයට අවුරුදු කාලෙට පුන්චි හරි පාලුවක් දැනෙනව ඇති. ඉතින් ඔන්න ඔය වගේ දේවල් හිත හිතා ඉඳිද්දි, නිකමට මගේ පරිඝණකයෙ තිබිල හම්බ උනා පොඩි නිසඳැස් කාව්‍යයක්. කලිනුත් කියවල තිබුනට, ඒකෙන් කියවෙන අදහස තවත් හොඳට මගේ හිතට වැදුන ඊයෙ ඒක කියෙව්වයින් පස්සෙ.

මහගම සේකර කියන සිංහල සාහිත්‍යයේ අග්‍රගණ්‍ය දර්ශනවාදී කලාකරුවගෙ හඳ සහ නිව්යෝර්ක් නුවර කියන නිසඳැස් කාව්‍යය ගැන තමයි මං කිව්වෙ. දේශ දීපංකරේක තනිවුනු අපේම ගමක ගමේකම තියෙන මනුස්සයෙකුගෙ හිත කියන කතාව කියවලා රස විඳින්න.

 
බ්ලොග් පෝස්ට් එක දාලා ටික වෙලාවකින් පස්සෙ ඩොනල්ඩ් ගාමිනීතිලක අය්යා මට එවල තිබුනා ගිය මාසෙ පෝය දවසෙදි නිව්යෝක් නුවරදි ඔහු විසින්ම ගත්තු, හඳේ පින්තූරයක්... ඉතින් ඒකත් එකතු කරල ආයෙත් බ්ලොග් සටහන දමන්න මං හිතුවා... බොහෝම ස්තූතියි පින්තූරෙට...


උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ කියලා හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි. ඉතින් අවුරුද්ද සමරපු, සමරන්න බලාපොරොත්තුවෙන් ඉන්න, ලෝක වාසී සියලු ශ්‍රී ලාංකිකයන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දෙ අලුත් පොතක් කියවන්න, අලුත් වැඩක් පටන් ගන්න, අලුත් වෙන්න අමතක කරන්න එපා...

සැමට සුබ නව වසරක් වේවා...!!!
புத்தாண்டு உஙக‌ளுக்கு மகிழ்சியாக மலர வாழ்த்துக்கள்...!!!
Wish you all a happy new year...!!!

April 2, 2011

මගේ ලෝක කුසලාන කණ්ඩායම - World XI

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසන්. නොකඩවා දෙවන වරටත් අනුශූරතාව හිමි කරගන්න අපේ සිංහ සේනාව සමත් උනා. කුසලානය අහිමි වීම ගැන පොඩි දුකක් ලාංකිකයො වන අපි හැමෝගෙම හිතේ තිබුනත්, අපේ කණ්ඩායම මේ තරඟාවලිය පුරාවට දක්වපු දක්ෂතා මතක් කරද්දි ඒ දුක නිකම්ම නැති වෙලා යනවා. ඒ තරම් හොඳින් අපේ කට්ටිය සෙල්ලම් කරා. ඉතින් ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපි හැමෝගෙම උණුසුම් සුභ පැතුම් එකතු කරන මිලියන 20ක් ජනතාව අතරට මමත් එකතු වෙනවා...


අවසානයෙදි ශ්‍රී ලාංකිකයො විදියට කරන්නෙ එකම ප්‍රාර්ථනයයි... ඒ තමයි මේ ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න 2015දි අපේ සිංහ සේනාවට හැකියාව ලැබේවා කියන එක...

ලංකාවෙ අපි හැමෝම සියළු වාද භේද අමතක කරල එක අරමුණක් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව නිසා එකමුතු උනා වගේම අනිත් සියලු දේවල් වලදිත් අපිට එකමුතු වෙන්න පුලුවන් නම් ලංකා මාතාව සියලු යහපත් දෙයින් ලෝකයේ අංක එකට ඇවිත් අපේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉ‍ටු වන දවස වැඩි ඈතක නෑ කියලයි මට හිතෙන්නෙ...

තරඟාවලිය නිමා වෙනවත් එක්කම මට පොඩි අදහසක් ආවා. මේ කරන වැඩේ ලොකු ප්‍රයෝජනයක් නම් නෑ. තවම ක්‍රිකට් උණුසුම තියන නිසා කරන්න හිතපු පොඩි වැඩක් විතරයි... යුව්රාජ්ට තරඟාවලියෙ වටිනාම ක්‍රීඩකයාට හිමි කුසලානය ලැබෙද්දි අනිත් ක්‍රීඩකයන්ගෙ දක්ෂතාවලට කිසි ඇගයීමක් නැද්ද කියල මට හිතුනා. ඉතින් ඒක නිසා පොඩි අලුත් දෙයක් කරන්නයි මං හැදුවෙ. ඒ තමයි ඒ තමයි 2011 ලෝක කුසලාන තරඟාවලියේ දක්වපු දක්ෂතා වලට අනුව හොඳම ලෝක කණ්ඩායම නම් කරන එක.

මම නම් කරපු ලෝක කණ්ඩායම (World XI) තමයි මේ...

Dilshan                 (Sri Lanka)
Sachin                  (India)
Sangakkara          (Sri Lanka)
AB De Villiers      (South Africa)
Yuvraj Singh         (India)
Ross Taylor          (New Zealand)
Anjello Mathews  (Sri Lanka)
Daniel Vettori       (New Zealand)
Zaheer Khan        (India)
Lasith Malinga      (Sri Lanka)
Murali                  (Sri Lanka)

පිතිකරුවන් 6ක්, වේග පන්දු යවන්නන් 2ක්, දඟ පන්දු යවන්නන් 2ක් හා තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයෙක් යනාදී වශයෙන් තමයි මම මේක නම් කලේ. නායකත්වය අපේ සංගක්කාරට දෙන්න හිතුවා. කඩුලු රකින්නාත් සංගක්කාරම තමයි.

මේ නම් කරපු ක්‍රීඩකයින් මේ ස්ථාන වලට නම් කරන්න හේතු වෙන වෙනම දක්වන්න උවමනාවක් වෙන එකක් නෑ කියලයි මං හිතන්නෙ. ඉතින් මේක කියවන ඔයාලගෙ කණ්ඩායමත් comment  එකක් විදියට එකතු කරන්න අමතක කරන්න එපා. ස්වාධීන අදහස් එකතු කරන්න ඔන්න අවස්ථාව...!!!
සැමට ජය...!!!

ක්‍රිකට් සහ අපේ බලාපොරොත්තු

ෆයිනල් එක පටන් ගන්න තව ටික වෙලාවයි තියෙන්නෙ. ඊට කලින් කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව ෆේස්බුක් පැත්තෙ ගිහිපු මට මෙන්න මේ පින්තූරෙ දැකගන්න ලැබුනා... ටිකක් ඒක දිහා බලන්න හොඳට...





ලංකාව සහභාගි වෙච්ච අවසන් පූර්ව තරඟයෙන් පස්සෙ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදි දැක ගන්න ලැබුනු දර්ශනයක් තමයි මේ. තරඟය නිමා වෙලා ප්‍රේක්ෂකයො ඉවත් වෙලා ගියාට පස්සෙ තමයි මේ අය ආවෙ... මේ කවුද, කරන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරි කමක් නැ නෙ.

මෙච්චර හොඳ තරඟයක් පටන් ගන්න කලින් මෙහෙම බ්ලොග් පෝස්ට් එකක් දමන්න තරම් මට පිස්සුද කියල කාටහරි හිතෙන්න පුලුවන්. හැබයි මේක මේ වෙලාවෙ දැම්මම අපි කාගෙත් හිත් වලට මේ පින්තූරෙන් කියවෙන කතාව ගොඩක් කාවදීවි කියලයි මට හිතෙන්නෙ. අපි කවුරුත් ක්‍රිකට් ගැන පිස්සුවෙන් වගේ ඉන්න අතරෙදි අපේම රටේ තවත් පිරිසක් ඊළඟ ආහාර වේල කොහොම හොයාගන්නද කියල හිත හිතා ඉන්නවා කියල මතක් කරන්නයි මට ඕන උනේ.

හැබැයි ඒ උදවියත් නොකා නොබී හරි එක හිතින්ම ප්‍රාර්ථනා කරන්නෙ අපේ කණ්ඩායමට ජය ලැබෙන්න කියලයි. අපේ සංගා කියපු විදියට මුළු රටක් සුවපත් කරන්න ක්‍රීඩාවට පුළුවන්. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට බලාපොරොත්තුවේ ආලෝකය අරන් එන්න අපේ කොල්ලො ටිකට හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරමු අපි හැමෝම... තරඟයේ ප්‍රථිඵලය මොකක් උනත් අපේ රටට ලොකු අභිමානයක් ගෙනත් දෙන්න සංගා, මහේල, මුරලි ඇතුළු අපේ කණ්ඩායම දැනටමත් සමත් වෙලා ඉවරයි.

අපේ මාතෘභූමියට තවත් ලෝක කිරුළක් අරන් එන්න අපේ කොල්ලො ටිකට හැකියාව ලැබේවා කියල ඉත සිතින් පතමු... හැබැයි එතනින් නවතින්නෙ නැතුව අපේ රටේ සමස්ථ ජනතාවටම තමන්ගේ ජීවන තත්වය ඉතා හොඳ තැනකට ගෙනියන්න ඕන කරන ගැම්ම, ආරම්භය මෙතනින් ගන්න පුළුවන් වෙන්න කියලත් අපි පතමු...

ජය වේවා ශ්‍රී ලංකා...!!!