December 22, 2010

සිංගප්පූරුව සහ අපි.....

උසස් පෙළ ඉහළින් ගොඩ වීම නිසා කිසිම වියදමක් නොමැතිව සිංගප්පූරුවට දෙවරක් යාමට මට අවස්ථාව ලැබුණි. මෙම සටහනේ අරමුණ එම සංචාරයන් පිළිබඳව පැවසීම නොවේ. එම සංචාරයන්හි දී ලද අත්දැකීම් සහ මෑතදී අපේ මොර‍ටු සරසවියේ ඉලෙක්ට්‍රොනික් සගයින් සමඟ ගිය චාරිකාවේදී මා ලද කුඩා අත්දැකීමක් ඇසුරින් උපන් සිතුවිල්ලක් ඔබට ගෙන ඒමටයි මගේ අදහස.
මර් ලයන් : සිංගප්පූරුවේ ජාතික සංකේතය
සිංගප්පූරුව යනු වර්ග කිලෝ මීටර් 700ක පමණ කුඩා භූමි භාගයකින් හෙබි රටක් වුවත් එය ආසියාවේ ප්‍රබල ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස වැජඹෙයි. එයට හේතු වූ ප්‍රධානතම කරුණක් නම් එහි පවතින වාර්ගික සමගියයි. චීන, ඉන්දියානු, මැලේ, ද්‍රවිඩ සහ නොයෙකුත් යුරෝපීය ජාතීන ‍රැසක් එකා වන්ව තම දේශය උදෙසා සිය වගකීම ඉ‍ටු කිරීම එහි දියුණුවේ ප්‍රධාන රහසකි.
අප දෙවන වර එහි ගිය විට සිංගප්පූරු ජනාධිපති එස්. ආර්. නාදන් මහතා මුණ ගැසීමේ වාසනාව අපට ලැබුණි. මා මෙහි කියන්නට යන සිදුවීම ගෙතෙනුයේ එම හමු වීම වටාය. මේ, කුරිරි යුද්ධය උතුරු කරයේ ඇවිළෙමින් තිබූ, අපේ හමුදාවෝ ජය පිට ජය නංවමින් සිටි කාලයයි. ඔහු අප සමඟ කළ කතාවේදී පැවසූ එකම අදහස නම් ශ්‍රී ලංකාව මීට වඩා බොහෝ දියුණු වීමට තිබූ රාජ්යයක් බවත්, අපේම වරදින් ප්‍රධාන ජාතීන් අතර අසමගිකම් ඇති වී ඇති බවත් ය. එය සම්පූර්ණයෙන්ම නිවැරදි නමුත්, එවැනි කතාවක් ඔහුගෙන් ඇසීමට තරම් අප අවාසනාවන්ත වීම ගැන මගෙ සිතෙහි දඩි කණගා‍ටුවක් ඇති විය.


දෙවැනිවර කළ සංචාරය පුරාවටම ඔවුන් අප කැ‍ටුව ගියේ ඔවුන්ගේ විවිධ ජාතීන්ට අයත් සංස්කෘතික සංගම් වෙතටයි. එවායින් කෙරෙන දෑ පිලිබඳව ඔවුහු අපේ භාෂාවෙන් කියතොත් 'ලොකු කයි' දුන්නහ. 1800 ගණන් වල මුල් භාගයේ ජනාවාස වූ රටක මිනිසුන් එකතු වී, වසර 2600කට ආසන්න අභිමානවත් ඉතිහාසයක් ඇති රටක ප්‍රමුඛ පෙලේ සිසුන් කණ්ඩායමකට මෙලෙස අවවාද දීම අප ලැබූ දයිවයේ සරදමකැයි මට සිතුණි. ජාතීන් අතර සහයෝගය, එකිනෙකාගේ විවිධත්වයට ගරු කිරීම වැනි අප දන්නා කරුණු පිළිබඳව ඔවුන් අපට පවසන විට අපට කළ හැකිව තිබුණේ හිස වනමින් ඒවා අනුමත කිරීම පමණි. සංචාරය නිමවා පැමිණෙන විටත් මගේ හදවත තුළ එම සිදුවීම් තෙරපෙමින් තිබුණි.

මෙය ලියන්නට ආසන්තම හේතුව එය නොවේ. මේ නොබෝ දා මාගේ සරසවි ට්‍රොනික් සගයින් සමඟ නැගෙනහිර ප්‍රදේශයේ කළ සංචාරයේදී වූ කුඩා සිදු වීමක් කරණකොට ගෙනයි මා මෙය ලියන්නේ. සිදු වීම මෙසේයි. අපේ පිරිස නැගෙනහිර වෙරළේ, අම්පාර ප්‍රදේශයට අයත් ආරුගම් බේ සුන්දර වෙරළ තීරයේ සවස් යාමය ගත කිරීමට පැමිණියහ.



සියළුදෙනා වෙරළේ කෙළිදෙලෙන් ගත කිරීමට ගිය පසු අප පැමිණි බස් රථයේ රියදුරු හා කොන්දොස්තර දෙපළට තේ ‍රැගෙන දීමට මමත් අපේ කණ්ඩායමේ චන්දිමත් අසළ පිහිටි කඩයක් වෙත ඔවුන් කැ‍ටුව ගියෙමු. ඒ එන ගමනේදී බසයේ රියැදුරුවරයා මට මෙසේ කීය.

"මල්ලි මේ පැත්තෙ තියෙන්නෙම දෙමළ කඩවල් නේද?"

"ඔව් අය්යෙ" යැයි මම පිළිවදන් දුනිමි.

"ඕකුන් එළවළම දමන්න ඕන මෙවයින්... මොකට ඉන්න දෙනවද මන්දා..." ඔහු කීය.


මා ගල් ගැසුනාක් මෙන් බලා සිටියා පමණි. කීමට කිසිවක් මගේ මුවගට පැමිණියේ නැත. ඊටත් වඩා, ඔහු සමඟ වාද කොට ඔහුගේ අදහස් වෙනස් කිරීමට ඒ අවස්ථාවේ මට වේලාවක් නොතිබුණි. නමුත් කුමක් හෝ කළකිරීමක් මා සිතට නැගුණි. යුද්ධය නිම වී වසර එකහමාරක් ගතවී ඇතත් ජාතීන් අතර සමඟිය වඩවන්නට අප කළ දේ කුමක්දැයි පැනයක් මසිතට නැඟුනි. මුදාගත් ප්‍රදේශයන් සංවර්ධනය කිරීමට වැඩපිළිවෙලවල් ගැන නිතර අසන්නට ලැබේ. නමුත් ඒවා අතර බිඳී ගිය සිහල දමිළ සහෝදරත්වය වැඩවීමේ ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන් සඳහන් කෙරෙනුයේ කලාතුරකිනි. පසුගිය සමයේ වුවද ගජරාමෙට කොටි හිතවාදීන්ට එරෙහිව කළ එළි බැසගත් ජාතිමාමකයින් නිසා රටේ සිටින අඩු උගත්කමකින් යුතු සිංහල ජනතාව තුළ සමස්ථ දෙමළ ප්‍රජාව කෙරෙහි මා මුලින් සඳහන් කළ අන්දමේ හැඟීමක් ඇති නොවේ යැයි කාට නම් කිව හැකිද? සාමාන්ය ජනයා වටහා ගතයුතු ප්‍රධානම කරුණ වනුයේ කොටින් සහ සහෝදර දෙමල ජනතාව යනු කොට්ඨශ දෙකක් බවය.

පාසල් සමය තුළදී නම් ද්‍රවිඩ සොයුරන් ආශ්‍රය කොට නොමැති වුවත්, සරසවියේ දී ඔවුන් ඇසුරු කිරීමට ලැබුනු බැවින් ඔවුන්ටත් ඇත්තේ අප තුළ පහළවන හැඟීම් ම බව මම සක්සුදක් සේ දනිමි. සරසවියේදී ඔවුන් වෙතින් මා ලබා ඇති දෑ ද බොහෝය. විවිධත්වය යනු මිනිසුන් අතර පවතින මනරම් වූ ගුණයක් බවත්, එතුළින් මිනිස් වර්ගයාගේ ඉදිරි ගමනට ලැබෙන පන්නරය අති මහත් බවත් මම ඔවුන්ගෙන් උගත්තෙමි.

එබැවින්, දිනූ දේශය දිනවන්නට අප යන ගමනේ දී ජාතීන් අතර සුහදත්වය වැඩි දියුණුකර ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමි. ඒ පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙලක ඕනෑකම බලධාරීන්ට දැනේවායි පතමි. එවැන්නක් දැනට නොමැති බව මම නොකියමි. නමුත් අනෙකුත් දැ සඳහා ලැබෙන අනුග්‍රහය ඒවාටද ලැබෙනවාදැයි සැක සහිතය.

ලී ක්වාන් යූ මහතා
සිංගප්පූරුව ලංකාවක් කරනවා යැයි එහි හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා පැවසූ කතාව දැන් බෙහෙවින් පරණ කියමනකි. ඒ සොඳුරු අතීතය දෙස සිහින දකිමින් පුරාජේරු කියමින් සිටිනවාද, නැතහොත් සිදුවූ අතපසුවීම් නිවැරදි කරගෙන අභිමානවත් අනාගතයකට පියමනිනවාද යන්න තීරණය කිරීමට සුදුසුම කාලයයි මේ...

5 comments:

Ranga said...

අහසින් පාත් වෙච්ච එකෙක් ගෙනත් ඌට අපේ ඉතිහාසේ ගැන උගන්වලා දැන් ලංකාව ගැන ලියන්න කීවොත් මොනා ලියාවිද?
මට අපේ ඉතිහාසෙ දිහා බැලුවම හිතෙනව ලංකාව කියන්නෙ නමක් නෙමෙයි, ඒකට ලොකු තේරුමක් තියනවා කියල. ඒක එහෙම තමයි කියල ඔප්පු කරන විදිය තමයි මම මුලින්ම කියල තියෙන්නෙ. ලංකාවක් තිබුන. දැන් අපි මේ ඉන්න අපේ මවුබිම ලංකාවක් කරන්න පුලුවන් කාලයක්...ඔව්. ඒක ලංකාවක් වෙලා අපිට ලංකාවක මැරෙන්න ලැබුනොත් ඒදාට අපි හැමෝටම සතුටින් මැරෙන්න පුලුවන් වෙයි...

Lakshitha Chathuranga said...

සහතික ඇත්ත මචන්. ඒ ලංකාව බිහි කරන්න අපිටත් ලොකු දෙයක් කරන්න පුලුවන්... :)

සංදීපගේ මයික්කරපෝනය said...

මචං මගේ මුල්ම කමෙන්ට් එක හෙහේ...... ඇත්ත ලංකාව අපි හිතන විදියටම සුන්දර නම් කොච්චර හොඳද ????? මං හිතන්නෙ තනි කෙනෙක් විදියට නොසිත සමූහයක් විදියට හිතන්න ගත්තොත් අඩුම ගානේ දෙන්නෙක් විදියටවත් මේ රට දියුණු කරන්න පුලුවන් වෙයි

Lakshitha Chathuranga said...

@සංදීප: ඔව් මචන් තනි කෙනෙකුට කරන්න පුලුවන් දේ ගොඩක් අඩුයි... එකම විදියට හිතන පතන, එක හොඳ අරමුණකට යන පිරිසක් එකතු උනොත් අපිට පොඩි හරි දෙයක් කරන්න පුලුවන්...

Aabid Rushdi@MORA said...

මාත් ඔන්න ලකිගේ බ්ලොග් එක පැත්තට ආවා.
අපේ රටට, සිංගප්පූරුවට අභියෝග කරලා දියුනු වෙන එක ගේමක් නෙවෙයි. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ මිනිස්සු තවම ශ්‍රී ලාන්කීය කියන කෝණයෙන් නොබලන එක. තවම බලන්නෙ සින්හල, දෙමල, මුස්ලිම් කියන කෝණ වලින්. සිංගප්පූරුවේ ඕනෑම් රාජකාරී කටයුත්තකට ජාතිය කියලා ආවොත් ඒගොල්ලො දාන්නෙ,Singaporean කියලා. හැබැයි අපේ රටේ ඒකෙ අනික් පැත්ත.උදාහරණයක් හැටියට අපේ record book එකේ පලවෙනි පිටුවෙම ජාතිය, Sinhalese, Tamil, Muslim. record book එක අරන් බලන කෙනාට මොකටද race එක???තවත් උදාහරණයක් කියනවානම්, මන් කොළඹ බස් හෝල්ට් එකක ඉන්න කොට කොන්දොස්තර කෙනෙක් එක දෙමළ මනුස්සයෙක්ට "එක දෙමළ ප___ වත් බස් එකට ගන්නෑ, ඔය මලුවල මොනවා තියනවාද කියලා කවුද දන්නේ?" කියලා ලොකුවක් දුන්නා. ඒ මිනිහා පින්සෙන්ඩු වුනා මන් මල්ලත් පෙන්නලා නගින්නන් කියලා. ඒත් කොන්දොස්තර නෙවෙයි ඒක ගනනකටවත් ගත්තෙ.හොන්දටම හවස් වෙලත් තිබ්බෙ. ඒ මිනිහට ඒහින්ද එතන රස්තියාදු වෙන්ඩ වුනා.ඒ මින්හා අහින්සකයෙක් නම් ඊට පස්සෙ එයාගෙ හිතේ ජාතිවාදය ඇතිවුනොත් එයාට වැරැදියි කියලා හරියනවද? Newyork film එක මේකවගේ අවස්තාවක් හොන්දට පෙන්නුම් කරනවා...